Friday, April 19, 2013

මිනිසා විසින් දෙවියන් මවා ගැනීම සහ එහි ඉතිහාසය

    ආදිතම මිනිසා ලොව තමන්ට පෙනෙන ආකාරයට වටහා ගත්හ. ඔහුගේ පෘතුවිය සමතලා භූමියක් විය. නිල්වන් අහස ඊට බොහෝ ඉහලින් පිහිටා පොලොව වසාගෙන ඇත. එහි ඉර, හඳ , තරු ආදිය පෙරදිගින් මතුවී අපරදිගින් නොපෙනී යති. ඉර බැස ගිය පසුව ඇතිවන රාත්‍රිය ඉමහත් බියෙන් ඔහු ගත කළේය. හඳ එළිය පවතී දිනයන්හි එය තරමක් අඩු විය. වැස්සෙන් ඔහුට සිදු වුයේ ඉමහත් අපහසුවකි. වරින්වර ඇතිවුණු විදුලිය සහ අහස ගිගුරුම් අති භයානක විය. අකුණු සැර ඔහුගේ මරණය සඳහාම විය. කලින් කල දිස් වෙන සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ඇති වන්නේ අහසේ ඉන්නා රක්ෂයෙකු විසින් ඉර හඳ ගිලගැනීමට තැත් කිරීමක් වැනිය. එසේම අධික නියඟය ඇතිවීම හේතුවෙන් ඔහු වතුර සොයායාම, සියලු ගස්වැල් වියලි යෑම සහ ආහාර හිඟයකටද හේතුවිය. එසේම වැසි සමග ඇතිවුණු මහා ජලගැලීම් හා සුලිසුළන් වලින් ඔහුට ගැලවීමට නොහැකි විය. ගිනිකඳු පිපිරීමද එසේම විය. වරින් වර ඇති වී පැතිරී යන වසංගත රෝග සහ එයින් සිදු වන දහස් ගණන් මියයාම් ඔහුට තේරුම් ගත නොහැකි විපත් ලෙස පෙනුනි.  

    මෙසේ ඒ භානයක සිදුවීම් වලට මැදිහත්වූ ආදිතම මිනිසාට පෙනීගියේ මේ සියල්ල සිදුවන්නේ නොපෙනෙන ඇති මහත් බලවතෙකුගේ ක්‍රියාවක් ලෙසය. එබැවින් ඔහුට තේරුම් ගත හැකිවුයේ රාත්‍රී අහසේ අලංකාර දිලිසෙන තාරකා ඇති පෙදෙස් ඒ බලවතාගේ වාසස්ථාන ලෙසත් පොලොව මත ඇතිවන සියල්ල ඔහු විසින් සිදුකරන්නාක් මෙනි. එබැවින් ඔහු බලගතු දෙවියෙකි. ඔහු වාසය කරන්නේ ඒ අලංකාර තරු බබළන ඈත අහසේ දිව්‍ය ලෝකයේය.

    මෙසේ සිතින් මවා ගත් කිසි දිනක කිසිවෙකු විසින් නොදුටු ඒ දෙවියන්ට තමා රැකදෙන ලෙසට දෑත් ඔසවා අහස බලාගෙන යාඤ කරන්නට විය. ඒ අනුව විපතක් සිදු වන්නට ගිය සෑම අවස්ථාවකදීම ඔහුට දෙවියන් සිහිවිය. ඒ අන්ධ විශ්වාසය වඩාත් ශක්‌තිමත් වී  දෙවියන්ගේ ආධාර උපකාර සහ පිහිට ලබා ගැනීමට පුද පුජා පැවැත්වීම කරන්නට විය. එසේ කිරීමෙන් ඔහුට ප්‍රතිඵල ලැබෙන බව ලෙසට පෙනී ගියේ තද වැස්ස චණ්ඩ මාරුත දෙවියන් සිහි කරන විට තරමක් අඩුවී යන්නාක් මෙන් පෙනුණු අවස්ථාද තිබු බැවිනි. කලින් කල පැතිරී යන තේරුම් ගත නොහැකි වසංගත රෝග දෙවියන්ගේ ලෙඩ ලෙස ස්ථිර විය. එයින් මිදීමට පුද පුජා අවශ්‍ය විය. තවමත් ඒ අන්ධ විශ්වාස සහ පුද පුජා පවතී. අහසින් පෘතුවියට එන උල්කාපාත දෙවියන්ගේ පැමිණීමක් ලෙස සැලකිය. මේ අනුව අහස දිව්‍ය ලෝකය වීය. මෙහිදී පොළොව හා දිව්‍ය ලෝක අතර සම්බන්දිකරණ කටයුතු සඳහා දෙවියන්ට පුද පුජා කරන ස්ථාන, දේවාල , දේවස්ථාන  ඇති කරන ලදී. මෙසේ සර්ව බලධාරී දෙවියන් ප්‍රමුඛ තවත් දෙවිවරුන්ද කල්යාමේදී සිතින් මවා ගත්තේ ගින්න , ජලය, වැස්ස , අකුණු සැර , අස්වනු සරුවීම , ආදිය මුල් කරගෙනය. මේ අනුව පොළොව සහ එය වසා සිටි අහසට පමණක් සීමා වූ මේ ලෝකය හෙවත් එකල විශ්වය මැවීම දෙවියන් වසින් කරන ලද්දක් ලෙස පැහැදිලි කරගනිමින් මානව ඉතිහාසය ආරම්භ විය. 

Share:

0 comments:

Post a Comment