Sunday, June 16, 2013

ලෝකය මත දියව යන අපේ සංස්කෘතික රාමුව

සමන් එදිරිමුණි

2012/03/28

"අද" පුවත්පතේ පළවූ ලිපියකි.

සංස්කෘතිය යනු කුමක්ද? මේ ගැටලුව සඳහා ලෝකයේ නිර්වචන කොතෙකුත් ඇත. නමුදු බොහෝ ඒවා එකකින් එකකට වෙනස් වෙයි. එකම වචනයකට නිර්වචන සමූහයක් ඇත්නම් එහි සරලම තේරැම උක්ත වචනයට නියමාකාර ස්ථිර අර්ථයක් නැති බවයි. එහි තේරැම ඒ වචනයට තේරැමක් කොහෙත්ම නැති බව නොවේ. යම් වචනයක් භාවිත වන සමාජය, තරාතිරම හෝ පුද්ගලයා අනුව එහි අර්ථය වෙනස් වේ නම් එය සාපේක්ෂ වදනකි. එබැවින් ඊට නිවැරුදි අනන්‍ය තේරැම් සෙවීම හුදු කාලය කා දැමීමකි. සංස්කෘතිය යනු එවන් වදනකි. නමුදු බොහෝදෙනා එය තේරැම් ගත්තේ ඉතාම වැරදි ක්‍රමයකටය. ලංකාව ඉන්දියාව වැනි ආසියාතික රටවල් තරම් සංස්කෘතිය ගැන කියවන රටවල් ලෝකයේ තවත් නැත. දෛවයේ සරදමකට මෙන් මෙම රටවල්වල තරම් සංස්කෘතිය පිරිහුණු රටවල්ද තවත් නැත. අප කතාබහ ආරම්භ කරමු.


ස්ථිරසාර තේරැමක් නැතත් කාටත් පොදුව අපි සංස්කෘතිය මෙසේ අර්ථ දක්වමු. යම් ඒකීය සමාජයක මිනිස් හැසිරීම බලා ඔවුන්ගේ අතීත පරම්පරාව පිළිබඳ පෙරයීමක් කළහැකි පොදු සාධකයක් වේ නම් එය ඒ සමාජයේ සංස්කෘතිය වෙයි. එතැන් පටන් අපි අපේ සංස්කෘතියත් ඊට සාපේක්ෂව ලෝකයේ අවශේෂ රටවල සංස්කෘතියත් කෙටියෙන් කියවමු.

ලංකාවේ ඕනෑම බබෙක් වුව දන්නා පරිදි අපට 2500 වසරක සංස්කෘතියක් හිමිව තිබේ. කුඩා අවදියේදී ඉතිහාසය අත පොත් තැබූ දා පටන් අපි හිසේ කෙස් ගානට මේ ආඩම්බරය කියවා ඇත්තෙමු. දුටුගැමුණු, රැවන්වැලිය, කලා වැව, සඳකඩ පහන ආදිය පමණක් නොව හෙළ කුල කාන්තාව පවා අප විසින්ම අර්ථ දක්වන අපගේ සංස්කෘතියේ සංකේතාත්මක දායාදයෝ වෙති. නමුදු වත්මන් ලාංකීය සමාජය ගැඹුරින් අධ්‍යයනය කළ විට පෙනී යන සමස්ත හැඟීම නම් අප සංස්කෘතිය අනාගෙන හත් පොලේ ගාගෙන ඇති බවයි.

එක්තරා අතකින් සංස්කෘතිය යනු නීති මාලාවකි. තවත් අතකින් මගපෙන්වීමකි. තවත් අතකින් එය අපගේ රිද්මය වෙයි. රිද්මය යනු අපටම අනන්‍ය වූ හැඩයකි. සමාජයක විවිධාකාර පුද්ගලයෝ සිටිති. ඔවුන් කවුරැත් තනි තනිව ගත්ත ද ඒ හැම පුද්ගලයාටම පොදු ලක්ෂණ කිහිපයක් තිබේ. ඒවා ඔවුන් තුළ මුල් බැස ගියා වූ සංස්කෘතික ලක්ෂණය. උදාහරණයක් ලෙස උණ ගසක් ගමු. උණ ගස යනු ශාක වර්ගීකරණයේදී තෘණ ගණයට වැටෙන ගසකි. පුංචි කලාඳුරැ පැලෑටියේ සිටන්, මානන්, ඉලුක්, උක් ගස් සහ බට පඳුරැ ආදී සියල්ල ඒ ගණයේය. මේවා එකිනෙකින් වෙනස් වුවද සියල්ලට පොදු ලක්ෂණ කිහිපයක් ඇති බව පෙනී යයි. ඒවායේ පත්‍රවල හැඩය ආසන්න වශයෙන් සමානය. කඳෙහි පිහිටි හැඩය සමානය. මුල් පද්ධතිය සහ පඳුරැ ලෑමේ පිළිවෙළ සමානය. එබැවින් එක තෘණ වර්ගයක් දෙස බලා අපට සියලු තෘණ වර්ග ගැන යම් හැඟීමක් ලබාගත හැකිය. අතිශය විශේෂ අවස්ථා හැරැණු කල බොහෝ විට ඒ නිගමන නිවැරදි සහ තර්කානුකූල ඒවා වෙයි. සංස්කෘතිය යනු එයයි. උණ ගසටත්, ඉලුක්, උක් ගස් සහ කලාඳුරැ ආදී ගස්වලටත් පොදු ලක්ෂණ සියල්ලේ එකතුව තෘණ ශාක කුලයේ සංස්කෘතිය වෙයි. මිනිස් සමාජයද එසේමය. යම් හෙයකින් තෘණ කුලයේ ඉපිද සුවිශේෂී පාරිසරික තත්ත්වයන් යටතේ මව් කුලයේ සියලු හැඩකාරකම් මෙන්ම වැඩකාරකම් වෙනස් කරගත් ශාකයක් වේ නම් එය විකෘතියකි. බැලූ බැල්මට එය ඕපපාතයකි. ගසක් දෙස බලා ඒ ගස කොයි කුලයකට අයත් වේදැයි නිගමනය කළ නොහැකි තරම් ඒ ශාකය පරම්පරාවේ හැඩය වෙනස් කරගෙන ඇත්නම් එම ශාකය තවදුරටත් මව් පරම්පරාවේ සංස්කෘතික ප්‍රභේදයක් නොවේ. එය තනි මෙන්ම එයටම ආවේණික සංස්කෘතියක් දරන වෙනස්ම ජීවියෙකි. එබැවින් එය අලුත් ප්‍රවණතාවකි. නව සංස්කෘතියකි. මෙම තර්කයට ඔබ එකඟ නම් අපි මේ කතාව තවදුරටත් කරගෙන යමු. එකඟ නැතිනම් අත්හැර දැමීමේ පූර්ණ අයිතිය ද ඔබ සතු වෙයි.

අපි මොහොතකට ලංකාවේ සංස්කෘතික ලක්ෂණ කිහිපයක් මතක් කර ගනිමු. අපි බෞද්ධ සංස්කෘතික උරැමක්කාරයෝ වෙමු. අනෙකාට උදව් කිරීම, අසරණයන්ට පිහිට වීම, දෙමව්පියන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරැ කිරීම, ගුරැවරැන්ට උපහාර කිරීම, සතුන් නොමැරීම, හතර පෝයට සිල් ගැනීම, සිහියෙන් හැසිරීම, ආගන්තුකයන්ට සැලකීම, ජාතිය මවක මෙන් සැලකීම අපේ සංස්කෘතික අංගවලින් සමහරකි. කාමයේ වරදවා හැසිරීම, පර පණ නැසීම, මව්පියන් මහලුව ගිය කල අත්හැර දැමීම, ස්ත්‍රී දූෂණ, මතින් මත්වීම, වැඩිහිටියන්ට ගරැ නොකිරීම, අවේලාවේ විථි සංචාරය, නීතියට ගරැ නොකිරීම ආදිය අපගේ සංස්කෘතියට පටහැනි දේ අතර වෙයි. මේ බොහෝ සංස්කෘතික දායාද අපිට 2500 ක ඉතිහාසයක සිට දායාද වූ දේය. සංස්කෘතිය විසින් කරන්නට එපා යැයි කෑ ගසා ඉල්ලන බොහෝ දේ ලාංකිකයන් වන අපි කරන්නෙමු. කරන්නට යැයි ඉල්ලන බොහෝ දේ නිර්දය ලෙස පැහැර හරින්නෙමු. මේ චර්යා රටාවන්ට අනුගත වූ සමාජයක් තවදුරටත් 2500 වසරක ප්‍රෞඪ සංස්කෘතික උරැමකරැවන් යැයි මැත දෙඩවිය හැකිද? එය කළ හැක්කේ දෙබිඩි සමාජයකට පමණි. ලංකාව අද වන විට දෙබිඩ්ඩන්ගේ පාරාදීසයකි. දෙබිඩියාවක් යනු එකක් කියා තවකක් කරන්නෙකි. නොහොත් එකම මිනිස් සිරැරක් තුළ පරස්පර චරිත දෙකක් ජීවත් කරවන්නෙකි.

ඉතින් අපිට වැරදුනේ කොතැනද? ඉතා සරලය. අපි හැමෝම සිතා සිටින්නේ සංස්කෘතිය යනු ලියා අවසන් කළ පොතක් කියාය. %ශ්‍රී ලංකාවේ සංස්කෘතිය^ ලෙස ඒ පොත නම් කොට අපි රාක්කගත කොට ඇත්තෙමු. අපගේ වාසියට අවශ්‍ය හැමවිටම එය ඇද ගනිමු. දුටුගැමුණු රජතුමා ද, රැවන්වැලිය, මිරිස වැටිය, ජේතවනාරාමය, සංවර කුල කත ද එහි ඇත්තේය. අපි ඒවා පෙන්න පෙන්නා යටිකූට්ටු ලෙස සංස්කෘතික විරෝධී වැඩ දහසකුත් දේ කරමින් සිටිමු. මේ යටිකූට්ටු වැඩ හාරා අදින සෑම පුද්ගලයෙකුම ලංකාවේ සංස්කෘතිය කෙලෙසන්නට ආ NGO ඒජන්තයින් ලෙස හංවඩු ගසමු. අපි ලෝකය සහ එහි ගමන් මග තේරැම් නොගත් අවාසනාවන්ත ජාතියකි. ලාංකේය ජාතිය යනු අතීත නුග වෘක්ෂයකින් පැවත එන එහිම ඵලයකින් හටගත් පැළෑටිවලින් පරපුර රුගෙන යන විකෘති වෙමින් පවතින වත්මන් ගසකි. මව් ශාකයට තරම් ශක්‍යතාවක් මෙහි නැත. මව් කුලයේ හැඩයන් යාන්තමට ඇතත් ඒවා ඉබේ ආ ඒවා නොවේ. අපේ වාසියට රුකගත් ඒවාය. ගෝලීයකරණය සහ ධනවාදී සමාජ ක්‍රමය හමුවේ අපි සංස්කෘතිය රුක ගැනීම සඳහා දත කන්නෙමු. එය කළහැකි දෙයක් නොවේ. අවාසනාව එය කළ හැකිදෙයක් යැයි සිතමින් තව තවත් වෙහෙසීමයි. අපි රුවුලත්, කැඳත් දෙකම ඉල්ලන ජාතියකි. අපට හොඳ අශ්වයෙක් ලාබෙට ගන්නට උවමනාය. උගේ දත් හොඳට තියෙන්නටද උවමනාය. උගේ පිටනැගී එක පිම්මට නේරංජනාවෙන් එතෙර වන්නටද උවමනාය. ඉතින් හිතවත් පාඨකය මෙය කළ හැකි දෙයක්ද?

සරල උදාහරණයක් ගමු. දළදා මාලිගාව, අනුරාධපුරය, පොළොන්නරැව සහ තවත් බොහෝ ආගමික සිද්ධස්ථාන සංචාරක කර්මාන්තය පැත්තෙන් ගත් කල අපට මුදල් උපයා දෙන තෝතැනිය. සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් ගත් කල උතුම් බිම්ය. ඒ නිසා කොට ගවුම්, කොට සායවල්, කොට කලිසම් හැඳ ඒවා නරඹන්නට එන සුද්දන්ට සුද්දියන්ට අපි සුදුරෙදි අන්දන්නෙමු. ඒවායින් පිටව යන විට ගලවා ගන්නෙමු. එහි අර්ථය කුමක්ද? අදාළ සිද්ධස්ථානවලදී නිරැවත තහනම්ය. මහ පාරේදී නම් අවුලක් නැත. අඩ නිරැවතක් දැක්කා කියා ගල් පිළිම සැලෙන්නේ නැත. සැලෙන්නේ අප තුළ ඇති නරක සිත්මය. අපි පාරේ යන්නේද ඒ සිත් දරාගෙනමය. එසේ නම් මහ පාරේ දී වුව යමක් විය හැකිය. අපේ අරමුණ අපගේ ලාංකේය සංස්කෘතිය රුකගැනීම නම් ඒ සංස්කෘතිය ඇත්තේ අනුරාධපුරයේ, පොළොන්නරැවේ හෝ දළදා මාලිගාවේ පමණක් නොවේ. සමස්ත රටෙහිමය. ලාංකේය සංස්කෘතිය කොළඹ කොටුවේ ද, හැව්ලොක් ටවුමේද, දෙහිවල හන්දියේද, එම්. සී. එක ළඟද, නිකවැරටියේද, මහියංගනයේද පමණක් නොව හම්බන්තොටද ඇත. අපි සංස්කෘතික දායාද තිළිණ කරන්නට පරසක්වල ගසන අනාගත දරැ පරපුර මේ හැමතැනම ඇත. එසේ නම් සුද්දන්ට සුද්දියන්ට සුදු රෙදි ඇන්දවිය යුත්තේ කටුනායකින් ගොඩ බහින විට ගුවන් තොටුපලේදීමය. එය කරන්නට ගියොත් අපට සංචාරක කර්මාන්තය හරහා එන ඩොලර් අහිමි වී යයි. ඉතින් අපි කරන්නේ මවාපෑමකි. ඇත්තටම අප තුළ නැති එකක් තියෙනවා යැයි රඟපෑම දැන් ලාංකික සිරිතය. %මතින් තොරවෙමු^ %මතට තිත^ යැයි කියූ ආණ්ඩුවේ මහ ගෙවල්වල ඡන්ද කාලයේදී මත්පැන් දන්සැල් තිබූ බව ජනමාධ්‍ය‘වේදීන් වන අපි දනිමු. ඒ දන්සැල්වලින් ඒ දවස්වල බීවේ පිරිත් පැන් නොවන බව ද ඒවාට ආ ගිය ජනමාධ්‍ය‘වේදීහු දනිති. හොඳට මත් වී පැමිණ පසු දා මතට තිත ගැන ලියූ කියූ බොහෝ මාධ්‍ය‘වේදීහු අදටද අපට හමුවෙති. ගැටලුව ඔවුන්ගේ හෝ ආණ්ඩුවේ හෝ නොවේ. රටෙහි චිරාත් කාලයක් පැවතෙමින් එන සිස්ටම් එක තුළය. සංවර්ධනය, ගෝලීයකරණය, සංස්කෘතිය යන සියල්ල රටක් ලෙස අප ස්ථානගත කරගත් පිළිවෙළ වැරදිය. රෑපවාහිනී නාලිකාවල නිරැවත් හෝ අඩ නිරැවත් කාමුක දර්ශන තහනම්ය. නමුත් රැපියල් දස දහසේ පරිගණකයකට රැපියල් දෙදහසේ Internet ඩොන්ගලයක් සවිකර ගත හැකි නම් ඔබට ඒවා බැලීමට කිසි තහනමක් නැත. නිකන් තියෙන රෑපවාහිනියේ ඒවා විකාශය වුවහොත් රට ජාතිය සංස්කෘතිය කෙළසෙන්නේය. අන්තර්ජාලයෙන් බැලූ විට එවැන්නක් නොවේ. රෑපවාහිනිය බහුතරයක් බලන මාධ්‍යයකි. පරිගණකය සුළුතරයක් භාවිත කරන අතර, අන්තර්ජාලය ඉනුත් සුළුතරයක් අත පවතින ධනවාදී මෙවලමකි. ඒ නිසා ඉන් ලැබෙන පාඩුව සුළුතරයැයි තර්ක කළ හැකිය. එහෙත් ඒ සුළුතරයේ ප්‍රමාණයද මිලියන ගණනක් ඉක්මවා ඇති බව අන්තර්ජාල පහසුකම් ලබාගෙන ඇති ලාංකිකයන්ගේ සංගණන වාර්තා අපට කියා දෙයි.

අපට අවශ්‍ය කුමක්දැයි අපි තෝරාගෙන නැත. ඕනෑම වගකිව යුත්තෙක් අප සමග පැමිණේ නම් ලංකාවට නුසුදුසු යැයි ඔවුන්ම කියන විදේශීය චිත්‍රපට දුසිම් ගණන් කොටුව මල්වත්ත පාරෙන් සොයාදීමට අපට පුළුවන. ඉතින් මේ සියල්ල මුසාවකි. මවාපෑමකි. අපි මවාපාන්නේ සංස්කෘතියද, එසේත් නැත්නම් එය රකින බවදැයි කිම උගහටය. කෙසේ හෝ වැරදි ඇති බව ඔබට මට දැනෙයි.

සංචාරක කර්මාන්තයක් සහ සංස්කෘතික අමාත්‍යාංශයක් ලංකාව වැනි සංස්කෘතියක් ඇති රටක පැවතිය හැකිද? සංස්කෘතික ඇමති දෙසන සංස්කෘතික බණ අසා අපට හික්කඩු වැල්ලේ මුහුදු රුල්ල පෑගිය හැකිද? හික්කඩු වැල්ලේදී සුද්දියන්ට ඇත්තේ යට ඇඳුම් පමණි. ඔවුන්ට එලෙස හැසිරිය හැකි නම් සංස්කෘතික අමාත්‍යාංශයේ කාර්යභාරය කුමක්ද? හොඳටම තදියම් වී මහ පාරේ ගසකට, ලයිට් කණුවකට සුළු දිය පහකරන ලාංකිකයෙකුට ප්‍රසිද්ධියේ නිරැවතින් හැසිරැණා යැයි දඩ ගැසිය හැකිය. වැල්ලේ අඩ නිරැවතින් අව්ව තපින විදේශිකයන්ට ගසන්නේ මොන දඩයද? මෙය අවුල් ජාලයක් බව ඔබටම වැටහෙනවා ඇත.

උක්ත කාරණාවලට ප්‍රධාන සහ එකම හේතුව අපේ දුප්පත්කමය. අපට රුවුලත් කැඳත් දෙකම ඕනෑ යැයි කීවේ ඒ නිසාය. සමස්ත ලෝකය ගත් කල ධනවාදය සහ ගෝලීයකරණය හමුවේදී සංස්කෘතිය රුකගත යුතු යැයි තීරණය කළ රටවල් එය රුක ගත්තේය. මුදල්ම උවමනා යැයි සිතූ රටවල් සංස්කෘතිය අතහැර දැම්මේය. අපි දෙකම ගන්නට ගොස් දෙකම නැති කර ගත්තේය. නමුදු කිසිවක් නැති නොවී සියල්ල ඇති ගානට කට මැත දොඩවන්නේය. අතිශය වාසි සහගත අවස්ථාවල දී අපි රටක් ලෙස සංස්කෘතිය බිල්ලට දෙන්නේය. නමුදු ඒවා ගැන එළිපිට කතා නොකරන්නේය.

තවත් සරල උදාහරණයක් මතක් කරගමු. ශ්‍රී ලංකාවෙන් අසල්වැසි බොලිවුඩය තරණය කළ එකම නිළිය ජැකලින් ෆර්ඩිනෑන්ඩ්ස්ය. ඇය වගකිව යුතු ප්‍රධාන චරිතයක් නිරෑපණය කළ පළමු චිත්‍රපටය Muder 2 ය. කලාත්මක අතින් බැලූ කළ ජැකලින් ලංකාවේ වත්මන් සුවිශේෂී නිළියන්ට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටියි. නමුදු ඇය රඟ පෑ චිත්‍රපටයේ ඇගේ දර්ශන ඉරියව් ගැන ලාංකීය සංස්කෘතික රාමුව තුළ සිට එය විග්‍රහ කළේ කවුද? හැමෝම කීවේ අපේ ජැකලින් කියාය. අපේ ආඩම්බරය කියාය. රටට කිර්තියක් ගෙන ආ බවය. ඒ ඇයි. දැන් ඇය මාර්කට්ය. ඒ නිසාම අපට බොලිවුඩයේ සම්මාන රාත්‍රියේ සත්කාරක රට බවට පත්වන්නට හැකියාව ලැබිණ. ඒ නිසා කොළඹ තරැ පන්තියේ හෝටල් පිරී ගියේය. සංචාරක කර්මාන්තය දියුණුවක් ලැබීය. නමුදු ඉන්දියානු චිත්‍රපටයක අඩ නිරැවතින් කාමුක දර්ශනවල රඟපෑවේ හෙළ කුල කාන්තාවන්ගේ පරපුරෙන් පැවත එන ලාංකීය කාන්තාවක් බව කාට කාටත් අමතක විය. මේ කියමන කිසිසේත්ම ජැකලින් නැමැති තරැණ නිළියට කරන අවමානයක් නොවේ. මෙහි ඇති ගැටලුව ඒ චරිතය ජැකලින් වේවා, වෙනත් නිළියක වේවා මහවිලච්චියේ සුරංගනී වේවා කළා යැයි සිතමු. එය එසේ විය හැකිද?

ලංකාවේ දුප්පත් චිත්‍රපටයක මූණ ඉම්බොත් එයට කොටු දමා වසන අපි, පිටරට චිත්‍රපටයක යහන්ගත වන දර්ශනයක රඟපාන ලාංකීය නිළියක් පිරිමි හතර දෙනෙකුගේ කර මතින් රන් දෝලාවක තබා වේදිකාවට වඩම්මන්නෙමු. අපේ සංස්කෘතික රාමුව හරි අපූරැය. අපි ඉන් බාල පරපුරට දෙන උපදෙස කුමක්ද? නිරැවත නිකං නොපෙන්වා සිටිය යුතු අතර, මුදලට නම් කමක් නැත කියා නොවේ නම් අන් කුමක්ද? සංස්කෘතිය නිකං නාස්ති නොකර හැකි නම් මුදලට අලෙවි කළාට කමක් නැතැයි කීම නොවේ නම් අන් කුමක්ද? දැන් අපි අපේ කතාවේ අවසානයට ළඟා වී සිටිමු. අපට වැරදුනේ සංස්කෘතිය යනු ලියා අවසන් කළ දෙයකැයි සිතීම තුළය. සංස්කෘතිය යනු එසේ අවසන් වූ දෙයක් නොවේ. එය සෑම තත්පරයකදීම යවත්කාලීන (Update) වෙයි. අපි ලෝකයේ සංස්කෘතිය තීරණය කරන්නේ අතීතය දෙස බලාගෙන වුවද ලෝකය අපේ සංස්කෘතිය තීරණය කරන්නේ වර්තමානය දෙස බලාගෙනය. ඇමරිකාවට ඇත්තේ වසර දෙසීයකටත් අඩු ඉතිහාසයක් යැයි අපි නෝන්ජල් ලෙස සිනහ පාන්නෙමු. නමුදු ඔවුන්ගේ වත්මන් කලා භාවිතාවට, නිෂ්පාදන ක්‍රියාවලියට හෝ අධ්‍යාපන චින්තනයට තව ආලෝක වර්ෂ ගණනාවකින්වත් ළං වන්නට බැරි බව පිළිගත යුතුව ඇත. එංගලන්තය, රැසියාව, ජපානය පවා එසේය. ගල් කණුවලට, රැවන්වැලියට මෙහායින් වත්මන් පරපුර වන අප නිර්මාණය කළේ මොනවාද? ලෝක පූජිත සඳකඩ පහනට මෙහායින් අපි තැනුවේ මොනවාද? අප වත්මන් මෑත ඉතිහාස පුරා කළේ අතීතය විකුණාගෙන කෑමය. අතීත සංස්කෘතිය නැමැති තිරයට වහං වී පිස්සු නැටීමය. කවුරැන් හෝ ඔය තිරය ඉරා දැමූ දවසක අපේ නිරැවත වසන්නට ඇත්තේ දෑත පමණි. එදාට දෑත්වල ඇති අතීතය විකුණා සොයා ගත් ඩොලර් මිටි එහෙමම තබාගෙන හෙළුවෙන් සිටිනවාද එසේත් නැත්නම් ඒවා අතහැර හෙළුව වසා ගන්නවාද? ඒ දෙකටම වඩා අපට ඇත්තටම අවශ්‍ය කුමක්දැයි තීරණය කොට ඒ සඳහා දැන් තබා සූදානම් වීම ඉතා බුද්ධිමත්ය. අවාසනාවකට වසර සිය ගණනක් පුරා අප ජාතියක් ලෙස මන්ද බුද්ධිකය. එබැවින් පරපුරෙන් පරපුර බිහි වන්නේද ඒ මව් දෙමව්පියන්ගේ දරැවන්මය. ඒ නිසා කරන්නට ඉතිරිව ඇති එකම විසඳුම් දෙක සංස්කෘතික තිරය ඉරා දැමූ දාක කළහැකි යැයි මුලින් කී තෝරා ගැනීම් දෙකය. 2500 වසරක අභිමානවත් සංස්කෘතික උරැමකරැවන් වූ අපට අවසානයේ උරැමව ඇති ඉරණම මහා පුදුමාකාරය. එලෙසම ලැජ්ජා සහගතය.



සටහන

සමන් එදිරිමුණි

(ලිපිය තුළ භාවිත වූ නම් ගම් සංකේතාත්මකය. ඒවා කිසිවක් ඒ ඒ පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය සමග සම්බන්ධ නොවේ.)

2012/03/28

"අද" පුවත්පතේ පළවූ ලිපියකි.
Share:

1 comment:

  1. ලංකාවේ සංස්කෘතික ලක්ෂණ කිහිපයක් සඳහන් කරද්දී "සිහියෙන් හැසිරීම" ඔබ සඳහන් කර ඇත. ලංකා ඉතිහාසයේ නිරුවත වහන වස්ත්‍ර ගැන "සිහියෙන් හැසිරීම" තීරණය කළේ කවුරුන් දැයි විමසන්නේ ද අපට වැරදුනේ කොතැනක දැයි කියා අවබෝධයක් ලැබේ. "සිහියෙන් හැසිරීම" තීරණය කළ යුත්තේ සිහිය ඇති සෑම පුරවැසියෙක් විසින්ම ද? නැත්නම් යම් බල අධිකාරියක් විසින් ද?

    ReplyDelete