Saturday, April 20, 2013

ඔබ සිංහලයෙක්ද?

    ඔබ සිංහලයෙක්ද? සිංහලයෙක්නම් නම් ඔබ ඒ බව දැනගත්තේ කෙසේද? සිංහල යන නමින් පෙනී සිටින බොහෝ දෙනකුගෙන් මෙම ප්‍රශ්නය මා විසින් අසා තිබේ. ඒ එක්කෙන්කුගෙන් වත් සෑහෙන පිළිතුරක් මට කිසි විටෙක ලැබී නැත. මේ ප්‍රශ්නය ගැන සමහරු කිපෙති. පිළිතුර ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබියදී ප්‍රශ්නය අසන්නේ කුමටදැයි සමහරු පෙරලා ප්‍රශ්න කරති. මෙය විනෝදයට අසන ප්‍රශ්නයක් වශයෙන් සමහරු සලකති. මෙම ප්‍රශ්නය ගැන මිට පෙර කිසිවිටෙක තමන් සිතා නැතැයි තවත් සමහරු කියති. කෙසේ හෝ වේවා ඒ කිසිවෙකුගෙන් ප්‍රශ්නයට සැහෙන, තර්කානුකුල ඒත්තු ගැන්විය හැකි පිළිතුරක් නොලැබෙයි.


    මගේ දෙමාපියන් සිංහලයින් නිසා මමද සිංහලයෙක්මි යන්න බොහෝ දෙනකු ඉදිරිපත් කරන තර්කයයි. මෙය ප්‍රශ්නයට පිළිතුරු දීමක් නොව ප්‍රශ්නය තව ටිකක් දුරට තල්ලුකර දැමීමක් පමණි. මන්ද දෙමාපියන් සිංහල බව දැනගත්තේ කෙසේදැයි ඊළඟට ප්‍රශ්න කල යුතු බැවිනි. ප්‍රශ්නය මෙසේ දිගින් දිගට තල්ලුකර දැමීමට පුළුවන. එහෙත් එයින් ප්‍රශ්නය විසඳීම සිදු නොවේ. කෙනකු සිංහල වන්නේ සිංහල භාෂාව කතා කරන නිසා යන්න තවත් තර්කයකි. ළදරු කාලයේ සිට සිංහලයැයි කියන ගෙදරක ඇති දැඩි වී සිංහල පමණක් කථා කරන වෙනත් ජාතිවලට අයත් අය සිටිති. නමුත් ඔවුන් සිංහල ජාතියට අයත් නොවූවන් සේ සලකති. එසේම ළදරු කාලයේ සිට වෙනත් ජාතිකයන් ලඟ ඇති දැඩි වී වෙනත් භාෂාවක් කතා කරන සිංහලයන් සිටිති. සිංහල කතා නොකර පමණින් ඔවුන් සිංහල නොවේ යැයි සලකන්නේද නැත. එහෙයින් සිංහල භාෂාව කතා කිරීම නිසා කෙනෙකු සිංහල ජාතිකයෙක්ද , ඉංග්‍රීසි භාෂාව කතා කිරීම නිසා ඔහු ඉංග්‍රීසි ජාතිකයෙක්ද නොවන්නේය.

    ඔබට කුඩා දරුවෙකු සිටි නම් ඔහුගේ ශරිරය සැම තැනම හොඳින් පරික්ෂා කර බලන්න. ඔහුගේ සිංහල බව දැක්වෙන විශේෂ අවයවයක් හෝ සලකුණක් පිහිටා තිබේද? කොතරම් සෙව්වත් එවැන්නක් ඔබට දකින්න නොලැබෙනවා ඇත. දීර්ඝ කාලයක් මුතුන් මිත්තන් ජිවත් වූ භූගෝල කලාපයේ දේශගුණය අනුව ඇති වූ සුදු, කළු, දුඹුරු, කහා ආදී ඇසේ හිසකෙස් හෝ හමේ පාටක් හා ජිවන පුරුදු ආදිය ඇරෙන්න සිංහල, දෙමළ, මුස්ලිම්, ඉංග්‍රීසි ආදී ජාතියක් දැක්වෙන කිසිම් අවයවයක් හෝ ස්වබාවික සලකුණක් ලෝකයේ කිසිම රටක මනුෂ්‍යකුගේ ශරීරයේ නොමැත.

    එහෙත් මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම සාධාරණ වූ ඒ දරුවා වැඩෙත්ම දෙමාපියන් විසින්, පරිසරය විසින්, සමාජය විසින්, ආගම විසින් ජාති නාමයක් දරුවාට ආරෝපණය කරනු ලබයි. තර්කකිරීමේ, හේතු සොයා බැලීමේ, සංසන්දය කර බැලීමේ ශක්තියක් නොමැති මේ කුඩා දරුවා නොසිතාම, නොදැනුවත්ම එම ජාති නාමය පිළිගනී. එය පිළිගෙන මා අසවල් ජාතියට අයත් කෙනකු ලෙස හැඟීමට ක්‍රමයෙන් පත්වෙයි. ඔබ සිංහල වුයේ සිංහල වූ යම් කිසිවක් උප්පතියේ සිට ස්වභාවික ලෙස ඔබට තිබුණු නිසා නොව දෙමාපියන් ඇතුළු සමාජය ආගම විසින් ඔබේ සිතේ ඇතිකරන ලද දුෂ්ටිය නිසා නොවේදැයි සිතා බලන්න.

    කුරුල්ලෝ ජාති වශයෙන් එකිනෙකාට වෙනස්ය. උකුස්සා, පරවියා, වවුලා, මොණරා, පැණි කුරුල්ලා අතරේ ඉතා පැහැදිලි ස්වභාවික වෙනස්කම් තිබේ. නමුත් සිංහලයා දෙමළා ඉංග්‍රීසිකාරයා අතර එවැනි වෙනස් කම් තිබේද? සිවපාවෝ ද ජාති වශයෙන් එකනෙකට වෙනස් වේ. බල්ලා, පුසා, දිවියා, වලහා, අශ්වයා, අලියා වෙන් වෙන් වශයෙන් දක්වන ස්වභාවික ලක්ෂණ ඇත. නමුත් ජපනා, ඇමරිකානුවා, අප්‍රිකානුවා අතර එවැනි වෙනස්කම් පවතීද?

    මනුෂ්‍යා ජාති වශයෙන් බෙදීම මුලාවකි. සිතින් මවාගත් වෙනස්කම් හැර නිසර්ගයෙන් පිහිටි වෙනසක් සිංහලයෙකුත් වෙනත් ජාතිකයෙකුත් අතර නොමැත. කෘතීම බෙදීමක් අනුව මිස ස්වභාවික වෙනස්කම් අනුව "සිංහල ජාතිය" යැයි වෙන් කර ගත හැකි මනුෂ්‍ය කොටසක් මේ මිහිපිට නැත. කුරුල්ලන්, සිවපාවුන් මෙන් නොව ලෝකයේ සෑම තැනම සිටින මනුෂයෝ එකම ජාතියකට අයත් වෙයි. ඒ ජාතිය වනාහි මනුෂ්‍ය ජාතියයි. සත්‍ය වශයෙන්ම පවත්නේ ඒ එකම ජාතිය ය. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී විවිද නම් වලින් හැඳින්වෙන්නේ සත්‍ය වශයෙන්ම නැති, එහෙත් දුෂ්ටිය නිසා ඇතිකරගත් සංඥා මාත්‍ර පමණි. අර්ථයක් නැති නම් සමුහයක් පමණය. අපි සිංහල දෙමළ ඉංග්‍රීසි නොව මනුෂයෝ වෙමු. සත්ව ජාතීන්ගේ ස්වබාවික බෙදීම අනුව මනුෂ්‍ය වර්ගයා සම්බන්දයෙන් පවත්නා සත්‍ය මෙය වේ. එහෙත් නැති ජාති විශේෂයක් ඇතැයි සිතා ගෙන එම දුෂ්ටියෙන් බැඳුනු අය මෙම සත්‍ය දැකීමට අපහොසත් වෙති.  


-ධර්මපාල සේනාරත්න මහතාගේ ලිපියක් ඇසුරෙනි-      
Share:

0 comments:

Post a Comment