Saturday, April 20, 2013

මා දකින බුදු දහම

    සියලු ආගම් ඇදහිලි ලොව සර්ව බලධාරී දෙවියෙකු මුල් කරගෙන යාඤවෙන් හා පැතුමෙන් පවතී. එය වසර 2500 ට පෙර බුදුන් දවස වන විටද එසේම විය. එකල ඉන්දියාවේ ආගම් 62ක් වූ අතර ආත්මය, පුද්ගලයා, මරණින් පසු නැවත ඉපදීම ආදියෙන් ජනතාව මුලා කරන විවිද විකාර ඉගැන්වීම් සහ මතවාද පැවතුනි. නමුත් ඒ සියල්ලම මිත්‍යා ප්‍රකාශ ලෙස එකවර බිඳ දැමීම බුදුන්ගෙන් සිදුවිය. එය ලොව සිදු මහා ප්‍රාතිහාර්ය ලෙස සැලකේ.

    බුදු දහම ආගමක් ලෙස වර්ග කීමට මා අකමැත්තෙමි. මන්ද බුදුන් ආගම් කතෘවරයෙකු නොවන අතර බුදුන්ගේ යැයි කිවහැකි ධර්මයක්ද නොමැත. සිදුවුයේ විශ්වයේ ස්වභාව ධර්මය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කිරීම වේ. එහිදී සිත හා ගත එකතුවූ විට දුක ඇතිවීම හා නැති කරගැනීම ක්‍රියාත්මක වන ආකාරය බුදුන් විසින් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව බුදු දහම සොබාදහම මිස අවිද්‍යාවෙන් මුලාවූ  මිනිසා විසින් මවා ගත් තවත් ආගමක් නොව විද්‍යාවකි.

    බුදුන් මහා කරුණාවෙන් කළ ඒ සත්‍ය ප්‍රකාශ වුයේ ආත්මයක් නැත. පුද්ගලයෙකුද නැත. ලොව මැවූ සර්ව බලධාරී දෙවියෙක්ද නැත. පුද්ගලෙයෙකු ලෙස පවතින්නේ හෝ දැක්වෙන්නේ සිත හා ගත එක්ව පවතින තෙක් චේතනාව අනුව දැක්වෙන චරිතයක් පමණි. එහි ස්ථිර ආත්මයක් නැත. විශ්වය මැවිල්ලක් නොවේ. එය සතර මහා භූතයන් හෙවත් ජලය, ගින්න, වාතය හා පස ආකර්ෂණ බලය තුල එක්වීමෙන්, ගැටීමෙන්, රත්වීමෙන්, පිපිරීමෙන් හා විසිරයාමෙන් පවතින්නකි. එබැවින් එහි බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, ස්වර්ගය, අපාය ආදියට තැනක් නැත. ඒ සියල්ලම පවතින්නේ චේතනාව අනුව මිනිස් සිත තුලය. එයින් ඇතිකරන විවිද චරිත බ්‍රහ්ම, දිව්‍ය, පාපී ලෙසින් ලොව පිරි ඇත. එය සොබාදහම අනුව ලෝභ, ද්වේශ, මෝහ සිතේ අඩු වැඩි වෙමින් ජීවිතය පවතින ආකාරය වේ.

    ඒ සොබාදහම මත විද්‍යානුකුලව බුදුන් විසින් සත්‍ය ප්‍රකාශ කිරීම විය. එබැවින් ජනතාව මුලා කරගෙන තිබු ආගමික මතවාද සියල්ලම බිඳ දැමීමට බුදුන් විසින් කල ඒ වාදය බුද්ධ වාදය විය. නමුත් කාලයක් සිට පරම්පරාවෙන් පරම්පරාවට පැමිණආ ආගමික විශ්වාස, මිත්‍යාව  හා ඇදහීම් මිනිසාගේ සිත තුලට තදින් කා වැදී තිබුනේය. එබැවින් බුද්ධ වාදය නිදහස් මතධාරී නුවණත්තන්ට පමණක් සීමාවිය. ඊට හේතු වුයේ එය විද්‍යාවක් මිස ආගමක් නොවීමයි. එබැවින් බුදුන්ට ප්‍රථම දේශනාව සඳහා නුවණත්තන් සොයාගෙන යෑමටද සිදුවිය. 

    නමුත් අද මෙන් එකල කරුණු හැදෑරීමට අවශ්‍ය පොත්පත් සහ සටහන් නොවිය. සියල්ලම ශ්‍රවනයෙන්ම හෙවත් මාර්ගඵල ලාභීන් ලඟට ගොස් අසා දැනගැනීමට හා පැහැදිලි කරගත යුතුවිය. නමුත් නුවණ හා සිතීමේ හැකියාව සැමගේම එක සමාන නොවේ. ඒ අපහසුතාවය හේතුවෙන් කාලයත් සමග බුද්ධ වාදය ක්‍රමයෙන් යටපත් වී මාර්ග ඵල ලැබීම අවසන් විය. ඉන්පසු දෙවිවරු, යක්ෂයින්, දැහැත්, පුද පුජා, බෝධි පුජා, ග්‍රාහ තරු, පිළිම වන්දනා වැනි විකට ජවනිකා වලින් පිරි ආගමක් ලෙස නිර්මල බුදු දහම විකුර්ති විය. එසේ විකුර්ති වුනු නිර්මල බුදු දහම, බුද්ධාගම ලෙස නම් විය. ඒ බුද්ධාගම අද වන විට තව දුරටත් විකුර්ති වීම් වලට භාජනය වෙමින් තවත් එක් ආගමක් ලෙස පසුවන්නේය.   

       
Share:

0 comments:

Post a Comment